හිටපු ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය ඝාතනය කිරීමට සම්බන්ධ වූ ආරක්ෂක නිලධාරියෙකු වන සත්වන්ත් සිංගේ (Satwant Singh) බෑණනුවන් වන බල්ටේජ් සිං (Baltej Singh), නවසීලන්තයේ ක්‍රියාත්මක වූ දැවැන්ත මත්ද්‍රව්‍ය ජාලයක මහ මොළකරු ලෙස හඳුනාගෙන තිබේ. වසර කිහිපයක් පුරා සිය අනන්‍යතාව රහසිගතව තබා ගැනීමට ඔහු දැරූ උත්සාහය 2026 මාර්තු 28 වනදා නවසීලන්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අසාර්ථක විය.
2023 වසරේදී ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඩුබායි බලා යාමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට පත් වූ බල්ටේජ් සතුව තිබී ඇමරිකානු ඩොලර් 10,000 කට අධික මුදලක් සහ කිලෝග්‍රෑම් 700 කට අධික මෙතම්පෙටමින් (Methamphetamine) මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මෙම චෝදනාවලට වරදකරු වූ ඔහුට වසර 22 ක සිරදඬුවමක් නියම වී ඇති අතර, තමන්ගේ සහ පවුලේ අයගේ ජීවිතවලට තර්ජනයක් එල්ල විය හැකි බව පවසමින් සිය නම ප්‍රසිද්ධ නොකරන ලෙස (Name Suppression) ඔහු කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
බල්ටේජ් සිං මීට පෙර නවසීලන්තයේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ඔහු උපයාගත් දේපළ රාජසන්තක කිරීමට ද පියවර ගෙන තිබේ. මෙම හෙළිදරව්වත් සමඟ ඉන්දියානු සහ නවසීලන්ත මාධ්‍යවල අවධානය යළිත් 1984 වසරේ සිදුවූ ඉන්දිරා ගාන්ධි ඝාතන සිදුවීම වෙත යොමුවී ඇති අතර, බල්ටේජ් සිං සිරගතව සිටින කාලය තුළ ඔහුට එල්ල විය හැකි ආරක්ෂක තර්ජන පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක වේ.












