මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ සවුදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් අතිනවීන E-3 Sentry (AWACS) යානයක් විනාශ වී ඇති බව වාර්තා වේ. මෙය ඇමරිකානු ගුවන් හමුදාව මෑත ඉතිහාසයේ ලැබූ විශාලතම මූල්‍ය සහ උපායමාර්ගික පාඩුවක් ලෙස සැලකෙන අතර මෙම ප්‍රහාරය 2026 මාර්තු 27 වනදා අලුයම ඉරානය විසින් බලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන එල්ල කර ඇත. මෙමගින් ඩොලර් මිලියන 300 ක් එනම් රුපියල් බිලියන 90 කට අධික වටිනාකමකින් යුතු E-3 Sentry යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් ඉන්ධන පිරවුම් යානා කිහිපයකට ද හානි සිදුව තිබේ. ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. ඇමරිකානු මධ්‍යම විධානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද චන්ද්‍රිකා ඡායාරූප සහ ආරක්ෂක පුවත් සේවා මගින් මෙම විනාශය තහවුරු කර ඇත.
මෙම යානය හුදෙක් ගුවන් යානයක් පමණක් නොව එය අහසේ පාවෙන සන්නිවේදන සහ පාලන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. එහි ඇති භ්‍රමණය වන රේඩාර් තැටිය මගින් කිලෝමීටර් 400 කට වඩා දුරින් ඇති සතුරු ඉලක්ක හඳුනාගත හැකි අතර එකවර සතුරු මිසයිල, යානා සහ නෞකා දහස් ගණනක් නිරීක්ෂණය කරමින් මිත්‍ර පාර්ශවයේ ප්‍රහාරක යානා මෙහෙයවීමේ හැකියාව පවතී. මෙය ලොව සතු බලවත්ම රේඩාර් යානයක් වන අතර මෙවැනි යානයක් සතුරු ප්‍රහාරයකින් විනාශ වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සටහන් වේ. මෙම යානය විනාශ වීමත් සමඟ මැදපෙරදිග අහසේ ඇමරිකානු සහ ඊශ්‍රායල ගුවන් මෙහෙයුම්වලට අවශ්‍ය රේඩාර් සහාය අඩාල විය හැකි අතර විශේෂයෙන්ම ඉරානයෙන් එල්ල වන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර කලින් හඳුනා ගැනීමට ඇති හැකියාව මෙමගින් සීමා වන බව ආරක්ෂක විචාරකයෝ පෙන්වා දෙති.














