පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ පැය 24 පුරා ජලය ලබාදීම සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර සහ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ටී. භාරතීදාස යන මහත්වරුන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේ, දැනට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජල සැපයුම පැය කිහිපයකට සීමා කිරීමට ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
දැනට ජල මූලාශ්‍රවල ධාරිතාව අඩුවෙමින් පැවතුණද, ජල නිෂ්පාදන කටයුතු උපරිම ධාරිතාවයෙන් අඛණ්ඩව සිදුකරගෙන යන බව මණ්ඩලය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, අධික පරිභෝජනය හේතුවෙන් කොළඹ ඇතුළු ඇතැම් ප්‍රදේශවල උස් බිම් සහ ජල නල පද්ධතියේ අවසානයට පිහිටි නිවාසවලට ජල පීඩනය අඩුවීමේ ගැටලු දැනටමත් මතුව තිබේ. කැලණි ගඟේ ලවණ බාධක යොදා ජලයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට පියවර ගෙන ඇති අතර, දැනටමත් ජල හිඟය පවතින ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය ලබාදීම ආරම්භ කර ඇත.
ඉදිරි කාලසීමාව තුළ වර්ෂාපතනය තවදුරටත් අඩුවිය හැකි බැවින්, ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ජල සැපයුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේ නම් 1939 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ ප්‍රාදේශීය කාර්යාල හරහා තොරතුරු ලබාගත හැකිය. දැනට නිල වශයෙන් ජල කප්පාදුවක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, පවතින තත්ත්වය අනුව ඉදිරි සති දෙක තුන තුළ දැඩි කළමනාකරණ ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදුවනු ඇති බව බලධාරීන් අවධාරණය කරයි.














