අරාබි ලීගයේ (Arab League) මීළඟ මහලේකම් ධුරය සඳහා ඊජිප්තුවේ හිටපු විදේශ අමාත්‍ය නබිල් ෆාමි නම් කිරීමට අරාබි ලීග කවුන්සිලය ඒකමතිකව තීරණය කර තිබේ. සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත 35 වන අරාබි සමුළුව වෙත මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව 2026 ජූලි 01 වනදා සිට වසර පහක කාලයක් සඳහා ඔහු මෙම ධුරයේ කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊජිප්තු විදේශ අමාත්‍ය ආචාර්ය බද්ර් අබ්දෙලත්ති (Dr. Badr Abdelatty) සඳහන් කළේ, මෙම ඒකමතික තීරණය හරහා ඊජිප්තුවේ රාජ්‍ය තාන්ත්‍රික පළපුරුද්ද කෙරෙහි අරාබි ජාතීන් තැබූ විශ්වාසය මනාව පිළිඹිබු වන බවයි.
තමන්ව මෙම උසස් ධුරය සඳහා නම් කිරීම පිළිබඳව නබිල් ෆාමි මහතා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි (Abdel Fattah El-Sisi) වෙත සහ සහයෝගය දැක්වූ සියලුම සාමාජික රටවලට සිය කෘතඥතාව පළ කර ඇත. වර්තමානයේ පවතින ඇමරිකා – ඉරාන යුද ගැටුම් සහ මැදපෙරදිග කලාපයේ පවතින දරුණු අර්බුදකාරී වාතාවරණය හමුවේ, අරාබි රටවල පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමේ දැවැන්ත වගකීමක් නව මහලේකම්වරයා වෙත පැවරෙනු ඇත. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇතිවී තිබෙන ආර්ථික බලපෑම් කළමනාකරණය කිරීමට අරාබි ලීගය ගන්නා උත්සාහයන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමු වනු ඇත.














