වර්තමානයේ පවතින ඉරාන යුදමය වාතාවරණය සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති ආර්ථික අවිනිශ්චිතතාවය හේතුවෙන් ලොව පුරා බොහෝ දෙනෙකු දැඩි මානසික පීඩනයකට සහ “යුද භීතිකාවකට” (War Anxiety) ගොදුරු වී ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම තමන්ගේ පාලනයෙන් බැහැර වූ ගෝලීය අර්බුද හමුවේ ඇති වන අස්ථාවරත්වය මානසික රෝගාබාධ දක්වා වර්ධනය විය හැකි බව මනෝ වෛද්‍ය කසුහිරෝ ටජීමා (Kazuhiro Tajima) අනතුරු අඟවයි. ඔබේ මානසික සුවය වෙනුවෙන් විශේෂඥයින් නිර්දේශ කරන ප්‍රධාන පියවරක් වන්නේ දෛනික චර්යාවන් පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙකු ආර්ථික අපහසුතා හෝ බිය නිසා තමන් ප්‍රිය කරන විනෝදාංශ, ක්‍රීඩා හෝ වෙනත් සමාජ ක්‍රියාකාරකම් අත්හැර දැමීමට පෙළඹුණ ද මානසික පීඩනය අවම කර ගැනීමට නම් එම පුරුදු එලෙසම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එමෙන්ම තොරතුරු ලබා ගැනීම සීමා කිරීම ද අතිශය වැදගත් වන අතර යුද්ධය පිළිබඳ පුවත් නිරන්තරයෙන් නැරඹීම මගින් මොළයේ ආතතිය වැඩි කරන බැවින් විශ්වාසදායක මූලාශ්‍රවලින් සීමිත වේලාවක් පමණක් තොරතුරු ලබා ගැනීමට වගබලා ගත යුතුය. මෙවැනි අසීරු කාලසීමාවන්හිදී හුදකලා නොවී මිතුරන් සහ පවුලේ සාමාජිකයින් සමඟ සමාජ සබඳතා ශක්තිමත් කිරීම මානසික ශක්තිය වර්ධනය වීමට බෙහෙවින් උපකාරී වේ. පවතින අර්බුදය පිළිබඳව අනවශ්‍ය ලෙස බිය නොවී සැබෑ තත්ත්වය තේරුම් ගනිමින් තමන්ට පාලනය කළ හැකි දේවල් පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම වැදගත්ය. මෙම මානසික පීඩනය තාවකාලික තත්ත්වයක් වුවද එය දිගින් දිගටම පවතින්නේ නම් වෘත්තීයමය මනෝ උපදේශනයක් ලබා ගැනීම සුදුසු බව වෛද්‍යවරුන් වැඩිදුරටත් නිර්දේශ කරයි.














