දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල ප්‍රමිතීන්ට අනුකූල වන ඇසුරුම්කරණ විසඳුම් පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) විසින් විශේෂ වැඩමුළුවක් පසුගියදා පවත්වන ලදී. “කුළුබඩු සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග” යන තේමාව යටතේ පැවැති මෙම වැඩමුළුව සඳහා අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 65කට අධික පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් කෘෂිකාර්මික අපනයනවල තිරසාර වර්ධනයක් ඇති කිරීම ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය මෙහිදී අපේක්ෂා කරන අතර ඇසුරුම්කරණයේ කාර්යයන්, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ නාස්තිය අවම කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
ඇසුරුම්කරණ උපදේශක ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතා සහ CMC ඉංජිනේරු සමාගමේ කළමනාකරු සනත් වනිගසේකර මහතා මෙහිදී සම්පත් දායකත්වය ලබාදුන් අතර ඔවුන් විසින් කුළුබඩු සඳහා වඩාත් සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය, නවීන ශිල්පීය ක්‍රම, ආහාර කර්මාන්තයේදී භාවිතා වන නවීන ඇසුරුම් යන්ත්‍රෝපකරණ සහ ජාත්‍යන්තර නියාමන අවශ්‍යතාවලට අනුකූල වෙමින් ගෝලීය වෙළඳපල තුළ තරඟකාරිත්වය වැඩි කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කරන ලදී. මෙම වැඩමුළුව හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ කාන්තා ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය වටිනා අවබෝධයක් ලබාගත හැකි විය.













