දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ පිහිටි “පිවිතුරු අරණ” කසල අංගනය හරහා ප්‍රදේශයේ වැව් පද්ධතියට සහ ස්වභාවික රක්ෂිතවලට අසූචි මුදාහරින බවට එල්ල වන බරපතල චෝදනා සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රි මහතාගේ සෘජු අවධානය යොමු වී තිබේ. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වැසිකිලි ගලි රථ මගින් රැගෙන එන අපද්‍රව්‍ය මෙම කසල අංගනයේ වළවල්වලට දමා, පසුව ඒවා රක්ෂිතයේ ස්වභාවික ඇළ මාර්ග හරහා නාගලවැව, මනාකටුව වැව සහ නිකටුව වැව වැනි ප්‍රධාන ජලාශවලට මුදාහැර ඇති බවයි. මේ හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබාගැනීමට හෝ මසුන් ඇල්ලීමට නොහැකි තරමට වැව් ජලය අපවිත්‍ර වී දැඩි පරිසර හානියක් සිදුව ඇත.
මෙම ගැටලුව පිළිබඳව කළ විමසීමේදී වත්මන් නගරාධිපතිවරයා සඳහන් කළේ අදාළ පරිසර විනාශය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම පිළිබඳව තමන් ප්‍රසාදය පළ කරන බවයි. දැනටමත් කසල අංගනයට අනවසරයෙන් ඇතුළු වීම පවා තහනම් කර ඇති බවත්, පවතින තත්ත්වය නිවැරදි කර ජනතාවට සහ පරිසරයට සිදුවන මෙම හානිය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවත් ඒ මහතා සහතික විය. සීගිරිය ආසන්නයේ පිහිටි මෙම සංවේදී කලාපය ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණි.













