බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන “අත්තනගල්ල ප්‍රජා මූල තිරසර සංචාරක ගම්මාන” වැඩසටහන (FAM Tour) ඊයේ (29) අලවල ගම්මානයේදී උත්සවාකාරයෙන් එළිදක්වන ලදී. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික හෙට්ටිආරච්චි සහ රුවන් මාපලගම යන මහත්වරුන් ද එක්ව සිටියහ. කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට දිස්ත්‍රික්කය තුළදීම සුවිශේෂී ගැමි අත්දැකීමක් ලබාදීම සහ එහි ආර්ථික ප්‍රතිලාභ ගම්වාසීන්ට අත්කර දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ මගපෙන්වීම මත අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම සමාරම්භක උළෙලට සමගාමීව අද දිනයේදී ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණි.














