කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ සිට අත්හිටුවා තිබූ චීනය සහ උතුරු කොරියාව අතර සෘජු ගුවන් සේවා වසර හයකට පසු අද (30) සිට යළි ආරම්භ කර තිබේ. ඒ අනුව චීනයේ ප්‍රධාන ගුවන් සේවය වන ‘එයාර් චයිනා’ (Air China) මගින් බෙයිජිං සහ පියොංයැං අගනුවරවල් යා කරමින් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ. උතුරු කොරියාවේ චීන තානාපති වන්ග් යජුන් (Wang Yajun) ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් විසින් මෙම ප්‍රථම ගුවන් යානය උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
පසුගිය මාර්තු 12 වනදා දෙරට අතර මගී දුම්රිය සේවාව ද යළි ආරම්භ වූ අතර, උතුරු කොරියාවේ ‘එයාර් කොර්යෝ’ (Air Koryo) ගුවන් සේවය 2023 වසරේ සිට සිය මෙහෙයුම් අරඹා තිබුණි. වසංගතයට පෙර උතුරු කොරියාවට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 90ක්ම චීන ජාතිකයින් වූ බැවින්, මෙම ගුවන් සේවා යථා තත්ත්වයට පත්වීමත් සමඟ එරට සංචාරක ක්ෂේත්‍රයට විශාල පිබිදීමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2024 වසරේදී රුසියානු සංචාරක කණ්ඩායමකට පමණක් අවසර ලබාදෙමින් සිය දැඩි සීමා ලිහිල් කළ උතුරු කොරියාව, මේ වන විට විදේශිකයන් සඳහා සිය දේශසීමා වඩාත් විවෘත කරමින් සිටී.














