අසාධාරණ ලෙස සිදු කර ඇති බව කියන වෛද්‍ය මාරුවීම්වලට එරෙහිව හෙට (31) උදෑසන 8:00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ. වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමය අවධාරණය කරයි. මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල සායනික සහ බාහිර රෝගී සේවාවන්ට බාධා එල්ල විය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර සේවා, මාතෘ හා ළමා රෝහල් මෙන්ම පිළිකා හා වකුගඩු ඒකකයන්හි සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව ද වෛද්‍ය සංගමය සඳහන් කර ඇත. රෝගී ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම සඳහා බලධාරීන් වහාම මැදිහත් වී සාධාරණ විසඳුමක් ලබා දිය යුතු බව ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී. රජයේ වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.














