දිවයිනේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය සලකා බලමින් පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මෙම නිවේදනය යොමු කර ඇත. අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි මස්පිඬු පෙරලීම, අධික ක්ලාන්තය සහ ජීවිත අවදානමක් සහිත ආඝාත තත්ත්වයන් (Heat Stroke) හඳුනාගෙන ඒවාට කඩිනම් ප්‍රථමාධාර ලබාදෙන ආකාරය පිළිබඳව මෙහිදී ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව, අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහන් හෝ ක්‍රීඩාපිටි ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළකී සිටිය යුතු අතර, විවේක කාලයේදී පවා සිසුන් දැඩි හිරු එළියට නිරාවරණය වීම පාලනය කළ යුතුය. සිසුන්ට ජලය පානය කිරීම සහ වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම සුදුසු බවත්, ප්‍රාදේශීය කාලගුණික තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ පුහුණුවීම් සැලසුම් කරන ලෙසත් අමාත්‍යාංශය උපදෙස් දෙයි. පාසල් තුළ ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති නම් ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහාය ලබා ගැනීමට ද අවස්ථාව සලසා ඇත.
සිසුන්ගේ පහසුව වෙනුවෙන් පාසල් නිල ඇඳුමට අදාළ ටයි පටි සහ බඳ පටි පැළඳීම ලිහිල් කිරීමට හෝ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල ඒවා ඉවත් කිරීමට අවසර ලබා දී තිබේ. පන්ති කාමර තුළ වාතාශ්‍රය උපරිම කිරීම සඳහා දොර ජනෙල් විවෘතව තැබිය යුතු අතර, අධික රස්නය සහිත තහඩු සෙවිලි කළ ගොඩනැගිලිවල පන්ති පවත්වන්නේ නම් ඒවා තාවකාලිකව සිසිල් ස්ථාන කරා මාරු කිරීමට ද නිර්දේශ කර ඇත. ජලය වෙනුවට තැඹිලි හෝ කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතයට සිසුන් දිරිමත් කරන ලෙසත්, සීනි අධික පැණි බීමවලින් වැළකී සිටින ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.














