විදේශගතව සිටින ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ හෙවත් සොබනාහන්දි ජයලත් ද සිල්වාට අයත් මීටියාගොඩ පිහිටි නිවසක රැඳී සිටි සමීපතම ගෝලයන් සිව්දෙනෙකු අද (30) අලුයම පොලිස් අත්අඩංගුවට පත්විය. ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ වැටලීමේදී, සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් ග්‍රෑම් 500ක් සහ ජර්මනියේ නිෂ්පාදිත නවීන පන්නයේ රිවෝල්වරයක් සොයා ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් ගිනි අවිය සමඟ සජීවී පතොරම් 06ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 38 ත් අතර පසුවන මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සුමේධ මධුසංඛ, පසිඳු නිර්මාල්, චානුක ඉෂාන් සහ ‘ගුලියා’ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන මධුසංඛ යන අය බව හඳුනාගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මොවුන් කුරුඳු තලන්නන් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස වෙස්වලාගෙන ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවයි. මෙම වැටලීම සඳහා ‘සමන් කොල්ලා’ නැමැති පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් ප්‍රබල ඉඟියක් වූ බව ද වාර්තා වේ.
විදේශගතව සිටිමින් මෙරට අපරාධ මෙහෙයවන ජාලයන් මැඩලීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ සිදුකළ මෙම වැටලීම දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරමට එල්ල වූ දැඩි පහරක් ලෙස සැලකේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අද (30) දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මෙම ගිනි අවිය මීට පෙර කිසියම් අපරාධයක් සඳහා භාවිත කර ඇත්ද යන්න පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා ලවා පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.














