මාතලේ දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව පසුගිය 28 වනදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර, එහිදී දිස්ත්‍රික්කයේ කර්මාන්තපුරයන්හි ප්‍රගතිය සහ කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි යටිතල පහසුකම් පුළුල් කිරීම සහ නව කර්මාන්ත ආරම්භ කිරීමට ඇති ඉල්ලුම සලකා බලා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට මෙහිදී පියවර ගෙන තිබේ. විවිධ බාධාවන් හේතුවෙන් පීඩාවට පත් වූ කර්මාන්තකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘Ditwah’ සහන වැඩපිළිවෙළ කඩිනම් කිරීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ උද්ගතව ඇති ගෝලීය තෙල් අර්බුදය හමුවේ වුවද, දේශීය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලශක්ති සම්පාදනය සහ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරමින් ආර්ථිකය ස්ථාවර කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව බලධාරීහු අවධාරණය කළහ.














