දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් අතර පසුගිය 28 වනදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකමක් නොමැති වතුකර ප්‍රජාවට සහන සැලසීමේදී පවතින ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදුලාල් බෝගහවත්ත මහතා මෙහිදී අනාවරණය කළේ සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බවයි. එම සැලසුම යටතේ සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 20,000ක් අලුතින් ඉදිකිරීමටත්, අර්ධ හානි සිදුවූ නිවාස 115,000ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් රජය පියවර ගෙන තිබේ. එමෙන්ම නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් දැනටමත් සතු අය සඳහා රුපියල් මිලියන 5ක මූල්‍ය ආධාරයක් ලබාදීමට මෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව පොදු පහසුකම් සහිත මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට ද මෙහිදී තීරණය විය.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි මාස කිහිපය තුළ කඩිනම් කිරීමට රජය අපේක්ෂා කරන අතර, ආපදාවට ලක්වූවන්ගේ මානසික හා සමාජීය සුවය වෙනුවෙන් සිවිල් සංවිධාන සමඟ එක්ව අඛණ්ඩව කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.














