මීරිගම මූලික රෝහල වකුගඩු ගල් සැත්කම් සඳහා වූ ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්විණි. රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සාකච්ඡාවේදී අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථාන ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් ඒකකයක් ස්ථාපිත කිරීම සහ දිවයින පුරා සිටින රෝගීන් සඳහා සේවා සැපයිය හැකි පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු විය. රෝගී පොරොත්තු ලේඛන අවම කිරීම මෙම මධ්‍යස්ථානයේ ප්‍රධානතම අරමුණ වේ.
මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාරභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර මහතා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. මෙය මීරිගම ප්‍රදේශයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම වැදගත් ජාතික ව්‍යාපෘතියක් බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සත්කාර්යය කඩිනමින් ආරම්භ කිරීම සඳහා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද රජය අපේක්ෂා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.













