වැලිකඩ ප්‍රදේශයේ පාසලක් අසල ඉතා සූක්ෂ්ම ලෙස මත් කරල් ජාවාරමේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් මත් කරල් 2,600ක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ප්‍රධාන සැකකාරිය මත් කරල් 600ක් ද සමඟ ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකඩ ප්‍රදේශයේ පාසලක් ආසන්නයේදීය.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකාරිය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් ඔබේසේකරපුර ප්‍රදේශයේදී දෙවන සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය සන්තකයේ තිබී තවත් මත් කරල් 2,000ක් සොයා ගැනීමට හැකි විය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 40 සහ 56 යන වයස්වල පසුවන ඔරුගොඩවත්ත සහ රාජගිරිය ප්‍රදේශවල පදිංචිකාරියන් දෙදෙනෙකි.
පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය දැඩි අවධානයෙන් පසුවන අතර, මෙම සැකකාරියන් මීට පෙරද මෙවැනි ජාවාරම්වල නිරත වී ඇත්ද යන්න පිළිබඳව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් මත් කරල් තොගය සහ සැකකාරියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














