නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා වහාම විධිමත් සැලසුමක් සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට නියෝග කර තිබේ. හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කමිටුවේදී අනාවරණය වූයේ, ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය අඩු වීම හේතුවෙන් බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
මෙම අළු නිසි ලෙස බැහැර නොකිරීමෙන් සිදුවන පාරිසරික හානිය වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කමිටුව උපදෙස් දී ඇත. එමෙන්ම ඉවත් කරන අළු නැවත නිෂ්පාදන කටයුතු සඳහා යොදාගෙන එමඟින් ලැබෙන ආදායම ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනයට යෙදවිය යුතු බවට ද යෝජනා විය. බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජලය සහ වාතය දූෂණය වී ඇත්දැයි සොයා බලා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට මෙහිදී දැනුම් දී තිබේ.
බලාගාරයේ පවතින පෙරහන් පද්ධතිය (Filter System) අධික ලෙස පිටවන අළු අංශු පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තා ඉදිරිපත් කරන ලෙස ද කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇත.














