2015 ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදාහැරීමෙන් රුපියල් මිලියන 39ක රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද (30) ප්‍රතික්ෂේප කළේය. දැනටමත් වෙනත් නඩුවක සිරදඬුවම් විඳින විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
එකම චෝදනාවකට දෙවරක් නඩු පැවරිය නොහැකි බවට විත්ති පාර්ශවය තර්ක කළද, මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පෙන්වා දුන්නේ අල්ලස් පනත යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පවරා ඇති මෙම නඩුවල චෝදනා සංඝටක එකිනෙකට වෙනස් බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි. මේ අතර, නඩුවේ තුන්වන විත්තිකරු වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්ද මල්ලවාරච්චි මහතා නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළේය. නඩුව නැවත ජූනි 26 වැනිදා කැඳවීමට නියමිතය.














