රජයේ රෝහල්වල ඔක්සිජන් (Oxygen) භාවිතය විධිමත් කිරීම සඳහා සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීම සහ ඊට සමගාමී පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීම අද (30) කොල්ලුපිටිය nH Collection හෝටලයේදී පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වූ අතර, යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම නව මාර්ගෝපදේශ මාලාව හරහා රජයේ රෝහල්වල ප්‍රතිකාර සේවාවන්හිදී ඔක්සිජන් භාවිතය වඩාත් ප්‍රශස්ත සහ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට අපේක්ෂිතය. මීට සමගාමීව විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් 100ක කණ්ඩායමක් ප්‍රථමයෙන් පුහුණු කර, ඔවුන් හරහා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ රජයේ රෝහල්වල ඔක්සිජන් භාවිතය සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය වන බවයි. දැනටමත් තිස්සමහාරාම, අවිස්සාවෙල්ල, උඩුගම සහ කෑගල්ල යන රෝහල්වල ඔක්සිජන් උත්පාදක ඒකක පිහිටුවා ඇති අතර, එමඟින් අදාළ රෝහල්වල අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම අතිරික්ත ඔක්සිජන් අවට රෝහල් වෙත ලබාදීමට ද හැකියාව ලැබී තිබේ. මෙම අවස්ථාවට යුනිසෙෆ් මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham) මහත්මිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් සහභාගී වූහ.













