රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි, සංවිධානාත්මක අපරාධවලට සහාය දැක්වීම සහ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ප්‍රධාන සැකකරුවෙකු සිය පවුල ද සමඟ ඩුබායි රාජ්‍යයට පලාගොස් සැඟව සිටින බව බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන ඇත. මොහුට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ බටුවත්ත ප්‍රදේශයේදී ‘ආමි උපුල්’ නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස කටයුතු කිරීමයි. මීට අමතරව, දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන රුවන් නැමැත්තා රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට තැත් කළ අවස්ථාවේදී ඝාතකයින්ට අවි ආයුධ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද මොහුට තොරතුරු ලැබී තිබේ.
විමර්ශන වාර්තාවලට අනුව, 2024 සහ 2025 වර්ෂවලදී මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන මුදල් මොහුගේ සහ ඔහුගේ බිරිඳගේ බැංකු ගිණුම් හරහා ‘උන්ඩියල්’ ක්‍රමයට ඩුබායි වෙත යොමු කර ඇත. මෙම මුදල් විශුද්ධිකරණ ජාවාරම සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය (DCDB) මඟින් ප්‍රකාශ ලබාදීමට කැඳවා තිබුණද, එය මඟහරිමින් මොහු විදේශගත වී ඇති බව වාර්තා වේ. දැනට ඩුබායිහි සැඟව සිටින මොහු, කිසිදු සුදුසුකමක් නොමැතිව ව්‍යාජ ලේඛන සකස් කරමින් සාජා ක්‍රිකට් ඇකඩමියක ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස පෙනී සිටින බව ද අනාවරණය වී ඇත.
එසේම, ඩුබායිහි සැඟව සිටින අනෙකුත් පාතාල නායකයින්ට එරෙහිව නිකුත් කර ඇති ‘රතු වරෙන්තු’ අහෝසි කර දෙන බව පවසමින් ඔවුන්ගෙන් ද විශාල වශයෙන් මුදල් වංචා කරන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබේ. මීට පෙර ‘බටුවත්තේ චාමර’ නැමැති පාතාල සාමාජිකයා සමඟ ද සමීප සබඳතා පවත්වා ඇති මෙම සැකකරු, ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) හරහා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග බලධාරීන් විසින් දැනටමත් ආරම්භ කර ඇත.














