තම බිරිඳ ලිංගික සේවාවන් සඳහා පුද්ගලයන් 120කට වැඩි පිරිසකට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 62 හැවිරිදි ස්වීඩන ජාතිකයෙකුට එරෙහිව එරට නීතිපතිවරයා අද (30) නඩු පවරා තිබේ. සැකකරුට එරෙහිව බරපතළ ගණිකා වෘත්තියේ නිරත කරවීම (Aggravated Pimping), පහරදීම සහ ස්ත්‍රී දූෂණ අටක් (08) සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව උතුරු ස්වීඩනයේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එතැන් සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. අධිචෝදනා පත්‍රයට අනුව, සැකකරු වසර ගණනාවක් තිස්සේ සිය බිරිඳට බලපෑම් කරමින් ඇයව ලිංගික ක්‍රියාවන් සඳහා යොමු කර ඒ හරහා මූල්‍යමය වාසි ලබාගෙන තිබේ. අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කිරීම, ගනුදෙනුකරුවන් සමඟ රැස්වීම් සංවිධානය කිරීම සහ ඇයට බලපෑම් කරමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.














