පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා (Naseem Shah) හට පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට පැනවූ විශාලම දඩ මුදල පැනවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) අද (මාර්තු 30) පියවර ගෙන තිබේ. පාකිස්තාන රුපියල් මිලියන 20ක (ඇමරිකානු ඩොලර් 72,000ක් පමණ) මෙම දඩය පනවා ඇත්තේ ඔහු විසින් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිනී මරියම් නවාස් මහත්මියව විවේචනය කරමින් පළ කළ බව කියන සටහනක් හේතුවෙනි.
පසුගිය බ්‍රහස්පතින්දා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන සුපර් ලීග් (PSL) 11 වන තරඟාවලියේ සමාරම්භක උත්සවයට මරියම් නවාස් මහත්මිය ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූවාය. එහිදී ඇයට ලැබුණු ඉහළ රාජ්‍ය ගෞරවය විවේචනය කරමින් නසීම් ෂාගේ X (ට්විටර්) ගිණුමෙන් සටහනක් පළ වී තිබුණේ, “ඇයට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ රැජිනකට වගේ සලකන්නේ ඇයි?” යනුවෙනි.
මෙම සටහන පළ වී සුළු මොහොතකින් එය මකා දමා තිබූ අතර, නසීම් ෂා පවසා සිටියේ තම ගිණුම කිසියම් අයෙකු විසින් හැක් (Hack) කර ඇති බවයි. කෙසේ වෙතත්, අද ලාහෝර්හිදී රැස්වූ තෙපුද්ගල විනය කමිටුව එම පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු සිය මධ්‍යම කොන්ත්‍රාත්තුවේ (Central Contract) කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය.
මීට පෙර 2025 වසරේදී ආමර් ජමාල් ක්‍රීඩකයාට ද දේශපාලන සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඩොලර් 4,000ක දඩයක් පනවා තිබුණද, නසීම් ෂාට පැනවූ මෙම දඩය පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම දඩය ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: ESPN Cricinfo














