හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගම්මාන රැසක දහසකට අධික ජනතාවක් මාස තුනක පමණ කාලයක සිට පානීය ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. පසුගිය ජනවාරි මාසයේ සිට ජල සැපයුම නිසි පරිදි නොලැබෙන බවත්, කලාතුරකින් ජලය ලැබුණද එය මධ්‍යම රාත්‍රියේ හෝ අලුයම් කාලයේදී පමණක් සිදුවන බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
කිරිවත්තුඩුව, බෑන්කන්වත්ත, ගොඩපරගහහේන, ඉසුරු අරඹ ඇතුළු ගම්මාන රැසක ජනතාව පවසන්නේ ජලය නොලැබුණද රුපියල් 2,000 සිට 7,000 දක්වා වූ අධික ජල බිල්පත් මාසිකව නිවෙස් වෙත ලැබෙන බවයි. මේ හේතුවෙන් පානය සඳහා ජල බෝතල් මිලදී ගැනීමටත්, අනෙකුත් අවශ්‍යතා සඳහා දුර බැහැර ළිංවලින් ජලය සපයා ගැනීමටත් ඔවුන්ට සිදුව ඇත. ඇතැම් අවස්ථාවල මඩ සහිත ජලය පවා පරිභෝජනය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කුඹුක කාර්යාලයෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කළේ, කලාප කිහිපයකට ජලය සැපයීමේදී පවතින තාක්ෂණික ගැටලු සහ අධි පීඩනයෙන් ජලය නිකුත් කිරීමට ඇති අපහසුතාව මීට හේතු වී ඇති බවයි. කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී මෙම ගැටලුව නිරාකරණය කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.














