ඉරාන යුද්ධය සහ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එමඟින් එල්ල වන බලපෑම අවම කිරීම සඳහා විවිධ රටවල් මේ වන විට විශේෂ පියවර ගනිමින් සිටී. ප්‍රධාන වශයෙන් ආසියානු සහ යුරෝපීය රටවල් රැසක් සිය බලශක්ති පිරිවැය කළමනාකරණය කර ගැනීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දී ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක් රියදුරන් දිරිමත් කිරීම සඳහා බස් සහ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා නොමිලේ ලබා දීමට තීරණය කර ඇති අතර, පිලිපීනය සහ වියට්නාමය වැනි රටවල් ඉන්ධන පිරිවැය අඩු කිරීමට සතියේ වැඩ කරන දින ගණන සීමා කර තිබේ. ශ්‍රී ලංකාව ද ඉන්ධන සංරක්ෂණය සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දී ඇති අතර රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව තායිලන්තය වැනි රටවල් වායුසමන යන්ත්‍ර භාවිතය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මියන්මාරය සහ බංග්ලාදේශය ද ඉන්ධන සලාක ක්‍රම ක්‍රියාත්මක කර තිබේ.
යුරෝපා සංගමයේ රටක් වන ස්ලොවේනියාව ද පුද්ගලික වාහන සඳහා දිනකට ඉන්ධන ලීටර් 50ක සීමාවක් පනවා ඇති අතර, චීනය සිය තෙල් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්ධන අපනයනය තාවකාලිකව නතර කර ඇත. මෙම ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ බොහෝ රටවල් පොදු ප්‍රවාහනය දිරිමත් කිරීම සහ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම හරහා සිය ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව පෙනේ.














