දිවයිනේ පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද එලෙසම පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) උදෑසන නිකුත් කළ නිවේදනයක දැක්වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. පවතින උණුසුම් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම සහ වැඩිපුර ජලය පානය කිරීම වැදගත් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.














