මඩකලපුව ප්‍රදේශයේ පාළු ළිඳක තිබී කාන්තා මළ සිරුරක් හමුවීම සහ තවත් කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මෙම ඝාතනයට සහ අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව මත නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අදාළ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි ඖෂධහල් හිමිකරුවෙකු බව වාර්තා වේ. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා කොක්කොඩිචෝල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අදාළ සැකකරු ඊයේ (30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දින 03ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම අමානුෂික අපරාධය සම්බන්ධයෙන් කොක්කඩිචෝල පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.













