පසුගිය සතිය පුරා යුක්‍රේනය විසින් රුසියාවේ බෝල්ටික් මුහුද ආසන්නයේ පිහිටි ප්‍රධාන තෙල් අපනයන යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර මාලාව හේතුවෙන් රුසියාවේ තෙල් මධ්‍යස්ථාන කිහිපයක දැවැන්ත ගිනි ගැනීම් හටගෙන තිබේ. චන්ද්‍රිකා ඡායාරූප සහ තහවුරු කරන ලද වීඩියෝ දර්ශන මඟින් පෙන්වා දෙන්නේ රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් ප්‍රදේශයේ පිහිටි උස්ට්-ලුගා, ප්‍රිමෝර්ස්ක් සහ කිරිෂි යන තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි.
රුසියාවේ සමස්ත තෙල් අපනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන මෙම මධ්‍යස්ථාන ඉලක්ක කිරීම හේතුවෙන් එරට තෙල් අපනයන ධාරිතාව විශාල ලෙස අඩාල වී ඇත. වාර්තා වන පරිදි 2022 වසරේ යුද්ධය ආරම්භ වූ දා සිට ප්‍රථම වතාවට රුසියාවේ බෝල්ටික් වරායන් හරහා තෙල් ප්‍රවාහනය කිරීම දින දෙකක් පුරා සම්පූර්ණයෙන්ම නතර වී තිබේ. යුක්‍රේන හමුදාව පවසන්නේ රුසියානු හමුදාවන්ට අවශ්‍ය ඉන්ධන සපයන මධ්‍යස්ථාන අඩපණ කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බවයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින බලශක්ති අර්බුදය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාම වැළැක්වීම සඳහා රුසියාවේ බලශක්ති අංශයට ප්‍රහාර එල්ල කිරීම සීමා කරන ලෙස මිත්‍ර රටවල් තමන්ගෙන් ඉල්ලා ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. රුසියාව විසින් යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට එල්ල කරන ප්‍රහාර නතර කරන්නේ නම් පමණක් තමන් ද මෙම ප්‍රහාර නතර කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.













