ඊශ්‍රායලයේ පවතින අන්ත දක්ෂිණාංශික රජයේ දැඩි බලපෑම මත, මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් හමුදා අධිකරණ මගින් වරදකරුවන් කරනු ලබන බටහිර ඉවුරේ පලස්තීනුවන්ට මරණ දඬුවම ලබා දීම අනිවාර්ය කෙරෙන ආන්දෝලනාත්මක පනතක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) විසින් සම්මත කර තිබේ. දීර්ඝ විවාදයකින් අනතුරුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතාගේ ද පූර්ණ සහයෝගය ඇතිව පක්ෂව ඡන්ද 62ක් සහ විපක්ෂව ඡන්ද 48ක් ලබා ගනිමින් මෙම පනත සම්මත විය.
මෙම නව නීතියට අනුව, “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස සැලකෙන ප්‍රහාරයක් මගින් ඊශ්‍රායල වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පලස්තීන වැසියන්ට එල්ලුම් ගසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතය. නඩු තීන්දුව ලබා දී දින 90ක් ඇතුළත (විශේෂ අවස්ථාවලදී දින 180ක් දක්වා දීර්ඝ කළ හැක) මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව එහි සඳහන් වේ. නීතියට අනුව යුදෙව් ජාතික ඊශ්‍රායල වැසියන්ට ද න්‍යායාත්මකව මෙම දඬුවම හිමිවිය හැකි වුවද, ප්‍රහාරයක අරමුණ “ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම” විය යුතු බවට පනවා ඇති කොන්දේසිය හේතුවෙන් ප්‍රායෝගිකව යුදෙව්වන් මෙයින් නිදහස් වන බව විචාරකයෝ පෙන්වා දෙති.
පනත සම්මත වීමත් සමඟ අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් ඇතුළු පිරිස් සභා ගැබ තුළ සතුට පළ කළහ. කෙසේ වෙතත්, මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත්, වර්ණභේදවාදය නීතිගත කිරීමක් බවත් පවසමින් පලස්තීන අධිකාරිය, හමාස් සංවිධානය සහ එක්සත් රාජධානිය, ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් රැසක් මෙන්ම මානව හිමිකම් සංවිධාන ද මෙම තීරණය දැඩි ලෙස හෙළා දැක තිබේ. ඊශ්‍රායලයේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කිහිපයක් දැනටමත් මෙම නීතිය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇත.














