ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පොරේපුන්කා (Porepunkah) නගරය කේන්ද්‍ර කරගනිමින් මාස හතක් තිස්සේ ක්‍රියාත්මක වූ දැවැන්තම මිනිස් දඩයම (Manhunt) සැකකරු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමඟ අවසන් වී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි 54 හැවිරිදි ඩෙසි ෆ්‍රීමන් (Dezi Freeman) නමැති සැකකරු, පැය තුනක මෙහෙයුමකින් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්විය.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ වැසියන් සහ මියගිය නිලධාරීන්ගේ හිතවතුන් අතර දැඩි කම්පනයක් මෙන්ම සහනයක් ද මුසු වූ විවිධ හැඟීම් නිර්මාණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකිව මාස ගණනාවක් පුරා ප්‍රදේශය පුරා පැවති දැඩි අවිවේකී සහ බියකරු වාතාවරණය මෙන්ම මාධ්‍ය මගින් එල්ල වූ දැඩි අවධානය හේතුවෙන් නගරයේ සංචාරක ව්‍යාපාරය ඇතුළු ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබුණි. නගරයේ වැසියන් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු නීතිය හමුවට පැමිණවීමට තිබුණේ නම් වඩාත් සුදුසු වුවද, ඔහුගේ මරණයත් සමඟ අවසානයේ තමන්ට බියෙන් තොරව නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලැබී ඇති බවයි.














