ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා චීනයේ හයිනාන් ප්‍රදේශයේ පැවැති 2026 බෝආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවට (Boao Forum for Asia Annual Conference) සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු දූත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටියහ.
සමුළුව අතරතුර කථානායකවරයා බෝආඕ සංසදයේ සභාපති බන් කී මූන් මහතා සහ මහලේකම් ෂැං ජුන් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. එහිදී එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයෙකු ද වන බන් කී මූන් මහතා, වර්තමාන ගෝලීය අභියෝග හමුවේ ආසියානු කලාපයේ සහයෝගීතාවයේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව යුද ගැටුම්වලින් පසු ලබා ඇති ප්‍රගතිය ද ඇගයීමට ලක් කළේය.
කථානායකවරයා සමුළුවේ ප්‍රධාන සැසිවාරය අමතමින් භූ දේශපාලනික තත්ත්වයන්, ආර්ථික අවිනිශ්චිතතාව සහ කෘතිම බුද්ධිය වැනි නැගී එන තාක්ෂණයන් හමුවේ බහුපාර්ශ්විකත්වයේ සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවන ආර්ථික සහ පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ඔහු, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය සඳහා කලාපීය හවුල්කරුවන්ට ආරාධනා කර සිටියේය.
මෙම සංචාරයට සමගාමීව චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලෙජි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. එහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සබඳතා සිහිපත් කෙරුණු අතර, චීන සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව වීසා රහිත පහසුකම් සැලසීම පිළිබඳව ද අවධානය යොමු විය. ඊට ප්‍රතිචාර දක්වමින් ෂාඕ ලෙජි මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ශ්‍රී ලාංකිකයන් සඳහා ද වීසා රහිත පහසුකම් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.














