නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙස පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාවට ආනයනය කරන ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් විමෝචනය වන අළු ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මෙහිදී අනාවරණය විය.
මෙම තත්ත්වය හමුවේ සිදුවිය හැකි පාරිසරික හානි වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය. එසේම ඉවත් කරන අළු නැවත නිෂ්පාදන කාර්යයන් සඳහා යොදාගැනීමේ හැකියාව අධ්‍යයනය කරන ලෙසත්, එමගින් ලැබෙන ආදායම ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය සඳහා යොදවන ලෙසත් මෙහිදී යෝජනා විය. මීට අමතරව බලාගාරය හේතුවෙන් ජලය සහ වාතය දූෂණය වී ඇත්දැයි සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කෙරුණු අතර, ආංශික කාරක සභාව යොමු කළ ප්‍රශ්නාවලියට සති දෙකක් ඇතුළත පිළිතුරු බඳින ලෙස වයඹ පළාත් පරිසර අධිකාරියට දන්වා ඇත.
කෙසේ වෙතත් බලාගාරයෙන් නිකුත් වන අළු ප්‍රමාණය ඉහළ ගොස් තිබුණද, එහි පවතින පෙරහන් පද්ධතිය එම අංශු අවශෝෂණය කර ගැනීමට ප්‍රමාණවත් බව වයඹ පළාත් පරිසර අධිකාරියේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ. මෙම රැස්වීම සඳහා කිංස් නෙල්සන් සහ රොෂාන් අක්මීමන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටියහ.














