විශ්‍රාම ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් සඳහා වෙළඳ නාවික ක්ෂේත්‍රයේ පවතින විදේශීය රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම සාකච්ඡාව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
නාවික හමුදාවෙන් විශ්‍රාම ගන්නා මනාව පුහුණුව ලැබූ, තාක්ෂණික දැනුමෙන් සහ පළපුරුද්දෙන් සන්නද්ධ නිලධාරීන් මෙන්ම නාවිකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තර නෞකා සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොදාගැනීමේ වැදගත්කම මෙහිදී දැඩිව අවධාරණය කෙරුණි. කෙසේ වෙතත් ගෝලීය සමුද්‍රීය කර්මාන්තයේ රැකියා සඳහා අවශ්‍ය වන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් වෘත්තීය සුදුසුකම් සහතික ලබාගැනීමේදී එම පිරිස් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
රජයේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම පිරිස් සඳහා වැඩි විදේශීය රැකියා අවස්ථා නිර්මාණය කිරීම හරහා රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයාගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්, ඔවුන්ට ජාත්‍යන්තරව පිළිගත් නිපුණතා සුදුසුකම් සහතික පහසුවෙන් ලබාගත හැකි වන පරිදි විධිමත් දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට නාවික හමුදාධිපතිවරයා, අතිරේක ලේකම් (ආරක්ෂක), වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














