මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ප්‍රධාන ඇලුමිනියම් නිෂ්පාදන සමාගම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු වාර්තා වූ ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබේ. විද්‍යුත් උපකරණ, ඇසුරුම්කරණය, ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට අත්‍යවශ්‍ය ලෝහයක් වන ඇලුමිනියම් මිල ඊයේ (30) දිනයේදී ලන්ඩන් ලෝහ හුවමාරුවේදී (LME) 3%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියේය.
ඒ අනුව ඇලුමිනියම් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 3,401ක් ලෙස සටහන් විය. කලාපයේ දැවැන්තම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම ප්‍රකාශ කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයට ප්‍රහාරවලින් දැඩි හානි සිදුව ඇති බවයි. මීට අමතරව ඇලුමිනියම් බහරේන් (Alba) සමාගම ද තම මධ්‍යස්ථානවලට සිදුව ඇති හානිය පිළිබඳව වාර්තා කර තිබේ.
මෙම සැපයුම් ජාලය අඩාල වීම හේතුවෙන් ඉදිරියේදී ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ගෝලීය ඉදිකිරීම් සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයට මෙම මිල ඉහළ යාම සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














