මැදපෙරදිග පවතින යුද ගැටුම් තවදුරටත් උත්සන්න කරමින්, ඩුබායි වරාය ආසන්නයේ නවතා තිබූ පූර්ණ ලෙස ඉන්ධන පටවා තිබූ කුවේට් රාජ්‍යයට අයත් “අල්-සල්මි” (Al-Salmi) නෞකාවට අද (31) ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් නෞකාවේ බඳ කොටසට දැඩි හානි සිදුවී ඇති අතර හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බව ඩුබායි බලධාරීන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය හේතුවෙන් අවට මුහුදු තීරයට දැවැන්ත තෙල් කාන්දුවක් සිදුවීමේ අවදානමක් පවතින බව කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) අනතුරු අඟවයි. රොයිටර් පුවත් සේවයට අනුව, අදාළ නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණ සෞදි අරාබිය සහ කුවේට් වරායන්ගෙන් ඉන්ධන ලබාගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කරමින් තිබුණකි. මේ වන විට හදිසි සහන සේවා කණ්ඩායම් එම ප්‍රදේශයට කැඳවා ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරත වේ.















