දිවයින පුරා පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සහ සේවා ස්ථානවල දෛනික කාලසටහන් සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැඩි ලෙස අවධාරණය කරයි. විශේෂයෙන්ම කුඩා දරුවන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් විජලනය සහ අධික උෂ්ණත්වය නිසා ඇතිවන ආඝාතය (Heatstroke) වැනි අවදානම් තත්ත්වයන්ට ලක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් එම් සඳුන් රත්නායක මහතා පෙන්වා දෙයි.
හිරු රශ්මිය උපරිම වන පෙරවරු 10.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ එළිමහන් කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසත් පාසල් ක්‍රීඩා සහ ශාරීරික අභ්‍යාස උදෑසන හෝ සවස් කාලයට පමණක් සීමා කරන ලෙසත් උපදෙස් දී ඇත. සේවා ස්ථානවල ද එළිමහන් රාජකාරි පවතින සේවකයන් සඳහා මෙම කාලසීමාවන් සැලකිල්ලට ගෙන වැඩමුර සකස් කරන ලෙසත් ගොඩනැගිලි තුළ හොඳ වාතාශ්‍රයක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් බලධාරීන් ඉල්ලා සිටියි.
මෙම කාලය තුළ දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5කට වඩා පානය කිරීම අනිවාර්ය වන අතර සීනි අධික බීම, මත්පැන් සහ කාබනීකෘත බීම වර්ගවලින් වැළකී සිටිය යුතුය. එළිමහනට යන විට කුඩ, තොප්පි හෝ සිරුර සම්පූර්ණයෙන් වැසෙන ඇඳුම් භාවිතා කිරීමත් අව්වේ නවතා තිබූ වාහනවලට ඇතුළු වීමට පෙර එහි වීදුරු පහත් කර රස්නය පිටවීමට ඉඩ හැරීමත් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අතිශය වැදගත් වේ. පවතින උණුසුම් තත්ත්වය හමුවේ මෙම උපදෙස් පිළිපැදීමෙන් බරපතල සෞඛ්‍ය සංකූලතා වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් මතක් කර දෙයි.














