ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ ඉදිකිරීමට යෝජිත ඩොලර් මිලියන 400ක වියදමින් යුත් නව උත්සව ශාලාව (Ballroom) යටතේ රහසිගතව ඉදිවන “දැවැන්ත හමුදා සංකීර්ණයක්” පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ. පසුගිය මාර්තු 29 වනදා එයාර් ෆෝස් වන් (Air Force One) ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ වර්ග අඩි 90,000ක වපසරියකින් යුත් මෙම උත්සව ශාලාව යට අදාළ හමුදා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බවයි.
මෙම රහසිගත හමුදා ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු එළියට පැමිණ ඇත්තේ මෑතකදී ගොනු කරන ලද නීතිමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. අමුත්තන් 1,000කට පමණ එකවර රැඳී සිටිය හැකි මෙම දැවැන්ත උත්සව ශාලා ව්‍යාපෘතිය ධවල මන්දිරයේ අනෙකුත් කොටස්වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල වැඩි බවට විවිධ පාර්ශවවලින් විවේචන එල්ල වී තිබේ. ඓතිහාසික සංරක්ෂණය සඳහා වූ ජාතික භාරය (National Trust for Historic Preservation) විසින් මේ සම්බන්ධයෙන් ෆෙඩරල් උසාවියේ නඩුවක් ද පවරා ඇති අතර කොංග්‍රස් මණ්ඩලයේ නිසි අනුමැතියකින් තොරව මෙම ඉදිකිරීම් සිදු කරන බවට ඔවුන් චෝදනා කරති.














