ඉන්දියාවේ ධනවත්ම නාගරික ආයතනය වන මුම්බායි මහා නගර සභාවේ ප්‍රථම කාන්තා කොමසාරිස්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනී අශ්විනි බිඩේ පත් වීමට නියමිත බව අද (31) වාර්තා වේ. වත්මන් නාගරික කොමසාරිස් භූෂන් ගග්රානි මහතා අද දින විශ්‍රාම ගැනීමත් සමඟ මෙම ඓතිහාසික පත්වීම සිදු වීමට නියමිත අතර, මෙය මුම්බායි නගර පරිපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. වසර හතරක විරාමයකින් පසු පැවැති නාගරික මැතිවරණයේදී ශිව් සේනා පක්ෂයේ සහය ඇතිව භාරතීය ජනතා පක්ෂය බලයට පත්වීමෙන් පසු සිදු කෙරෙන මෙම පත්වීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
1995 වසරේ ඉන්දීය පරිපාලන සේවයට (IAS) එක්වූ අශ්විනි බිඩේ මහත්මිය, මුම්බායි පරිපාලන සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය තුළ වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ “මෙට්‍රෝ කාන්තාව” (Metro Woman) යන නාමයෙනි. මුම්බායි මෙට්‍රෝ 3 වැනි මාර්ගය හෙවත් ‘Aqua Line’ වැනි දැවැන්ත ව්‍යාපෘති සාර්ථකව මෙහෙයවීම නිසා ඇයට මෙම ගෞරව නාමය හිමි විය. වයස අවුරුදු 55ක් වන ඇය මෙම තනතුරට පත්වුවහොත්, මුම්බායි මහා නගර සභාවේ වසර ගණනාවක ඉතිහාසය තුළ එම තනතුර හොබවන ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක් වනු ඇත.














