2015 ජනාධිපතිවරණ සමයේදී එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදාහැරීම මඟින් රුපියල් මිලියන 39ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වූ චෝදනාවට අදාළ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.
හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණි. විත්තියේ නීතිඥවරුන් තර්ක කර තිබුණේ මෙම චෝදනාවලටම සමාන චෝදනා යටතේ අල්ලස් කොමිසම පැවරූ නඩුවකට සිය සේවාදායකයන් දැනටමත් වරදකරුවන් වී සිරදඬුවම් විඳින බැවින්, එකම වරදකට දෙවතාවක් නඩු පැවරීම නීති විරෝධී බවයි.
කෙසේ වෙතත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා පෙන්වා දුන්නේ අල්ලස් කොමිසම නඩු පවරා තිබුණේ අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ වුවද, නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ සාධාරණ සැකය සහ සාවද්‍ය පරිහරණය යටතේ බැවින් එහි අන්තර්ගතයන් එකිනෙකට වෙනස් බවයි. ඒ අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කළේය.
මේ අතර මෙම නඩුවේ තෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණය නියෝග කළේය. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වන වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.














