වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා පනවා ඇති සමාජ මාධ්‍ය සීමාවන් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඉන්දුනීසියානු රජය විසින් මෙටා සහ ගූගල් යන සමාගම්වල නිලධාරීන්ව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබේ. පසුගිය සතියේ සිට බලාත්මක වූ නව නීතියට අනුව, ඉහළ අවදානමක් සහිත යැයි සැලකෙන සමාජ මාධ්‍ය වේදිකාවල සිටින වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ ගිණුම් අක්‍රීය කිරීමට අදාළ සමාගම් බැඳී සිටී.
ඉන්දුනීසියානු සන්නිවේදන සහ ඩිජිටල් අමාත්‍ය මෙයුටියා හෆීඩ් (Meutya Hafid) මහත්මිය ප්‍රකාශ කළේ මෙටා සහ ගූගල් යන ආයතන මෙම නීතියට අනුකූල නොවන බවත්, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඊයේ (30) එම සමාගම් කැඳවූ බවත්ය. මෙම සීමාවන් මුල සිටම ක්‍රියාත්මක කිරීමට අදාළ සමාගම් විරුද්ධ වූ බවත්, නීතිය උල්ලංඝනය කිරීම දිගටම සිදු වුවහොත් එම වේදිකාවන් රට තුළ තහනම් කිරීමට පවා පියවර ගන්නා බවත් අමාත්‍යවරිය අනතුරු ඇඟවීය.
මීට අමතරව ටික්ටොක් (TikTok) සහ රොබ්ලොක්ස් (Roblox) යන ආයතන වෙත ද මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ඔවුන් ද නීතියට අනුකූල නොවන්නේ නම් එම සමාගම් ද ඉදිරියේදී කැඳවීමට නියමිතය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් දැනටමත් ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇති බව ගූගල් සහ මෙටා සමාගම් පවසන නමුත්, ඉන්දුනීසියානු රජය පෙන්වා දෙන්නේ එම පියවරයන් ප්‍රමාණවත් නොවන බවයි.














