සාම්ප්‍රදායික ක්‍රම වන නිකොටින් පැච් (Patches) හෝ ගම් (Gum) භාවිතයට වඩා දුම්පානය අත්හැරීම සඳහා විද්‍යුත් සිගරට් භාවිතය වඩාත් ඵලදායී වන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ‘Addiction’ සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම පර්යේෂණයට අනුව, විද්‍යුත් සිගරට් මඟින් දුම්පානය නතර කිරීමේ හැකියාව පිළිබඳව මීට පෙර පැවති පරස්පර විරෝධී අදහස් බැහැර කර ඇති අතර, එහි සාර්ථකත්වය පිළිබඳව පැහැදිලි සාක්ෂි පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ඇන්ජෙලා ඩිෆෙන්ග් වූ (Angela Difeng Wu) පවසන්නේ, විද්‍යුත් සිගරට් මඟින් දුම්පානය නතර කිරීමට ලැබෙන සහයෝගය පිළිබඳව සාක්ෂි ඉතා පැහැදිලි සහ ස්ථාවර බවයි. කෙසේ වෙතත්, මෙම නිෂ්පාදන භාවිතය සම්පූර්ණයෙන්ම අවදානම් රහිත නොවන බවට ද විශේෂඥයන් අනතුරු අඟවයි. මෙහි ඇති විය හැකි බරපතල අහිතකර බලපෑම් පිළිබඳව මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණීමට තරම් පර්යේෂණ දත්ත ප්‍රමාණවත් නොවන බවත්, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් එම වාර්තාවේ දැක්වේ.
දුම්පානය අත්හැරීමට උත්සාහ කරන පිරිස් සඳහා මෙය සුබදායී පුවතක් වුවද, විද්‍යුත් සිගරට් භාවිතය ද සෞඛ්‍යයට යම් බලපෑම් එල්ල කළ හැකි බැවින් පාරිභෝගිකයන් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මේ වන විට ලෝකය පුරා විද්‍යුත් සිගරට් පිළිබඳව දැඩි පරීක්ෂාවන් සිදුවන අතර, එහි දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් හඳුනා ගැනීම සඳහා අඛණ්ඩව පර්යේෂණ සිදුකිරීමේ අවශ්‍යතාව පර්යේෂකයන් මෙහිදී පෙන්වා දී තිබේ.














