ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වී ගත වූ මාසය තුළ ජර්මනියේ පෙට්‍රල් මිල 15%කට වඩා ඉහළ ගොස් ඇති අතර, මෙම තත්ත්වය හමුවේ එරට අන්ත දකුණේ පක්ෂයක් වන ‘AfD’ (Alternative for Germany) සිය දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටී. ලාභදායී බලශක්තිය ලබාගැනීම සඳහා ජර්මනිය යළිත් රුසියාව දෙසට හැරිය යුතු බවට ඔවුන් බල කර සිටින්නේ, මේ මස පැවැති ප්‍රාන්ත මැතිවරණවලදී ඔවුන් ලැබූ ඉහළ ජයග්‍රහණ ද උපයෝගී කර ගනිමිනි.
ජර්මනියේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන බේඩන්-වර්ටම්බර්ග් (Baden-Wuerttemberg) සහ රයින්ලන්ඩ්-පලටිනේට් (Rhineland-Palatinate) යන ප්‍රාන්තවල පැවැති මැතිවරණවලදී AfD පක්ෂය 20%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජර්මනියේ දෙවැනි විශාලතම දේශපාලන බලවේගය බවට පත්ව තිබේ. පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මාකස් ෆ්‍රෝන්මායර් (Markus Frohnmaier) පවසන්නේ චීනය හෝ ඇමෙරිකාවට වඩා දෙගුණයක බලශක්ති පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ජර්මානු ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර ජර්මනියේ බොරතෙල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සහ ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් අඩකට වඩා සැපයුවේ රුසියාව විසිනි. මේ වන විට ජර්මනිය නෝර්වේ, නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි රටවලින් ඉන්ධන ලබාගත්තද, ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම නිසා බලශක්ති ස්වෛරීභාවය වෙනුවෙන් යළි රුසියානු ඉන්ධන ලබාගැනීම අත්‍යවශ්‍ය බව AfD පක්ෂය අවධාරණය කරයි.














