පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද සහ ප්‍රකාශයට පත් නොකරන ලද සියලුම පුරාවස්තූන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් මාසයක් ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) වෙත ලබා දෙන ලෙස එහි නිලධාරීන්ට දැඩිව නිර්දේශ කර තිබේ.
ගැසට් පත්‍ර මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත මෙතෙක් කාරක සභාව වෙත ලබා දී නොමැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ අනුව සති දෙකක් ඇතුළත ගැසට් මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද පුරාවස්තූන් පිළිබඳ දත්ත, ඒවා මෙතෙක් ගැසට් නොකිරීමට බලපා ඇති හේතු සහ ඒවා ඉදිරියේදී ගැසට් කිරීමට යෝජිත කාලරාමුව ද ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා විසින් නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (19) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021-2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව මෙලෙස දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා තිබේ. මීට පෙර අවස්ථාවලදී කෝපා කමිටුව ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද මෙහිදී විශේෂ සමාලෝචනයකට ලක් කර ඇත.














