දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් (UNIFIL) තිදෙනෙකු පැය 24ක් ඇතුළත ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, ප්‍රංශයේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද (31) හදිසි සැසියක් පැවැත්වීමට තීරණය කර තිබේ. ඉන්දුනීසියානු හමුදාවට අයත් මෙම සෙබළුන් තිදෙනා මියගොස් ඇත්තේ දකුණු ලෙබනනයේ සිදුවූ පිපිරීම් දෙකක් හේතුවෙනි.
පසුගිය සඳුදා (30) දින බනි හයියන් (Bani Hayyan) ගම්මානය අසලදී සිදුවූ හඳුනා නොගත් පිපිරීමකින් සාම සාධක භටයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, ඊට පෙර ඉරිදා රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයකින් තවත් සෙබළෙකු මියගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ප්‍රධානී ජීන්-පියරේ ලැක්‍රොයික් (Jean-Pierre Lacroix) තහවුරු කර ඇත්තේ මියගිය සෙබළුන් තිදෙනාම ඉන්දුනීසියානු ජාතිකයන් බවයි.
මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය සුගියෝනෝ (Sugiono) ප්‍රකාශ කර ඇති අතර, මේ පිළිබඳව විනිවිදභාවයකින් යුත් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ගෙන් ඉල්ලා ඇත. 1978 වසරේ සිට ක්‍රියාත්මක වන ලෙබනන සාම සාධක මෙහෙයුම තුළ මේ වන විට සාම සාධක භටයන් 330කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය ලොව ඕනෑම එක්සත් ජාතීන්ගේ මෙහෙයුමක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස සැලකේ.
















