පසුගිය මාර්තු 27 වැනිදා සෞදි අරාබියේ අල් කාර්ජ් (Al Kharj) හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුරට ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් අතිනවීන ‘E-3 Sentry’ වර්ගයේ රේඩාර් යානයක් (AWACS) සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අලුත්ම වාර්තා හෙළි කරයි. මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
විනාශ වූ ‘AWACS’ යානය ගුවනේ සිට සතුරු තර්ජන හඳුනාගැනීම සහ මෙහෙයවීම (Airborne Warning and Control System) සඳහා භාවිතා කරන ඉතා වටිනා යුද උපකරණයකි. ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූපවලට අනුව මෙම යානය කොටස් දෙකකට කැඩී ගොස් ඇති අතර, එය යළි භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී තිබේ. ඉරානයෙන් එල්ල වන මිසයිල සහ ඩ්‍රෝන තර්ජන දුර තියා හඳුනාගැනීමට ඇමෙරිකානු හමුදාවන්ට තිබූ හැකියාව මෙම යානය විනාශ වීමත් සමඟ යම් ප්‍රමාණයකට අඩාල වනු ඇතැයි ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාව නිරීක්ෂණය කිරීමට තිබූ ප්‍රධානතම මෙවලමක් මෙලෙස අහිමි වීම ඇමෙරිකාවට විශාල අවාසියකි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉලක්ක කරන්නේ සෞදි අරාබියේ සිටින “ආක්‍රමණික ඇමෙරිකානු හමුදා” පමණක් බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, ඇමෙරිකාව මීට කවරාකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි ලෝකයම විමසිල්ලෙන් පසුවෙයි. මෙම යානය විනාශ වීමත් සමඟ ඇමෙරිකානු හමුදාවන්ට ඉරාන තර්ජන කල්තියා හඳුනාගැනීමට ඇති හැකියාව අභියෝගයට ලක්ව ඇති අතර, එය කලාපයේ ආරක්ෂක උපායමාර්ගවලට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි සැලකේ.
















