වත්මන් මාලිමා රජය බලයට පත්ව වසර එකහමාරක් ගතවීමටත් මත්තෙන් අතීතයේ අලංකාරව පැවැති කොළඹ නගරය දැඩි ලෙස අපවිත්‍ර වී, දුර්ගන්ධය හමන අවලස්සන නගරයක් බවට පත් කිරීමට කටයුතු කර ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය (Floating Market) සහ ගංගාරාමය අසල බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශ මේ වන විට දැඩි ලෙස අපද්‍රව්‍ය හා කැලි කසළ එකතු වීමෙන් දැඩි දුර්ගන්ධයක් හමන මට්ටමට පත්ව ඇතැයි ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව කොළඹ මහ නගර සභාවේ හෝ වත්මන් රජයේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බවත්, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් පවා මෙම අපවිත්‍ර පරිසරය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වන බවත් ඔහු සඳහන් කළේය.
නගර අලංකරණ ව්‍යාපෘති සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය පිළිබඳව බලධාරීන් නිතර කතා කළ ද ඒවා ප්‍රායෝගිකව අසාර්ථක වී ඇති බවට සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි. නගර අලංකරණය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ‘ටියුෂන්’ ලබාගන්නා ලෙස තමන් රජයට යෝජනා කරන බව ද ඔහු පැවසීය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කොළඹ නගරය ආසියාවේ ආකර්ෂණීයම නගරය බවට පත් කළ බවත්, එම සුන්දර කොළඹ අවලස්සන වීමට වත්මන් රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














