නිවැරදි දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සහ සියලු දෙනා ඇතුළත් කරගත් පාලනයක් උදෙසා අතිශය වැදගත් වන ලොව විශාලතම ජන සංගණනය හෙට (අප්‍රේල් 01) ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් බිලියන 1.24ක දැවැන්ත පිරිවැයක් දරමින් සිදු කරන මෙම ජාතික කර්තව්‍යය සඳහා නිලධාරීන් මිලියන තුනකට අධික පිරිසක් සහභාගී වන බව වාර්තා වේ.
මෙම සංගණනය අදියර දෙකකින් සිදු කෙරේ. හෙට සිට සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වන පළමු අදියරේදී නිවාස සහ පහසුකම් පිළිබඳ තොරතුරු රැස් කෙරෙනු ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික නිවසින් නිවසට ගොස් තොරතුරු රැස් කිරීමට අමතරව, ජනතාවට අන්තර්ජාලය හරහා ස්වයංව තොරතුරු ඇතුළත් කිරීමට ද අවස්ථාව ලබා දී තිබීමයි. මේ සඳහා භාෂා 16කින් සමන්විත සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරන නවීන ජංගම යෙදුමක් (App) ද හඳුන්වා දී ඇත.
මෙවර සංගණනයට දේශපාලනික වශයෙන් ඉතා සංවේදී මාතෘකාවක් වන “කුලය” (Caste) පිළිබඳ දත්ත ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. ඉන්දියාවේ හින්දු සමාජය තුළ පවතින මෙම පැරණි සමාජ ධුරාවලිය පිළිබඳ තොරතුරු රැස් කිරීම මඟින් ඉදිරි සුභසාධන කටයුතු වඩාත් විධිමත් කිරීමට රජය අපේක්ෂා කරයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ සිදුවන මෙම දැවැන්ත සංගණන ක්‍රියාවලිය වසරක් පුරා විවිධ අදියර යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත.














