පවතින බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් කළමනාකරණය කරගැනීමේ පියවරක් ලෙස අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ උසස් නිලධාරීන් සඳහා ලබා දෙන ඉන්ධන දීමනා නැවත දැනුම් දෙන තුරු 2026 මාර්තු මස 01 වන දින පැවති ඉන්ධන මිල ගණන් යටතේ ගණනය කිරීමට රජය තීරණය කර තිබේ.
රජය ප්‍රකාශ කරන්නේ ඉන්ධන පිරිවැය මත පදනම්ව ගෙවනු ලබන අනෙකුත් සියලුම දීමනා ද මෙම මාර්තු 1 වනදා පැවති මිළ සීමාවන්ට යටත්ව සකස් කරන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් උත්සන්න වී ඇති ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
මීට අමතරව රට තුළ ඉන්ධන බෙදා හැරීම සීමාසහිත මට්ටමක පවතින බැවින්, සම්පත් සුරැකීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය නොවන රජයේ කාර්යාල සඳහා බදාදා දින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රජයේ අනුමත සීමාවන් තුළ වියදම් පාලනය කරගනිමින් අත්‍යවශ්‍ය මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම මෙහි මූලික අරමුණයි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.














