2025 අයවැය යෝජනාවකට අනුව ආරම්භ කරනු ලැබූ ‘ආයතනගතව සිට සමාජගත වන අඩු ආදායම්ලාභී යුවළ සඳහා නිවාස පහසුකම් සපයා ගැනීමට මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහන’ තවදුරටත් පුළුල් කරමින් සකස් කළ ‘දිවියට සවියක්’ නව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2026 අයවැය යෝජනා මඟින් මෙම වැඩසටහන තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, ඒ අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල හැදී වැඩී පසුව සමාජගත වූවන්ට සහ විවිධ අවදානම්වලට ලක්ව ඇති දරුවන් සහිත පවුල් සඳහා මූල්‍යාධාර ලබා දීමට නියමිතය. මෙහිදී ඉඩමක් මිල දී ගැනීමට, ඉඩමක් මිල දී ගෙන අලුතින් නිවසක් ඉදි කිරීමට, තමන් සතු ඉඩමක නිවසක් ඉදි කිරීමට, නිවසක් සෘජුවම මිල දී ගැනීමට හෝ දැනට පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එක් ප්‍රතිලාභියෙකුට රුපියල් මිලියන 02ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර හිමිවේ. මේ වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක සමස්ත ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ මූල්‍යාධාර ලබා දීම සඳහා සුදුසුකම් ලබන ප්‍රධාන ප්‍රතිලාභී කණ්ඩායම් තුනක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වීම නිසා හෝ ඊට පෙර ආයතනික රැකවරණයෙන් ඉවත් වූ, පදිංචිය සඳහා ස්ථාවර සහ ආරක්ෂිත නිවසක් නොමැති වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන් මීට සුදුසුකම් ලබයි.
මීට අමතරව නිසි පවුල් පසුබිමක් හෝ ස්ථිර ජීවනෝපායක් නොමැතිකම නිසා ජීවත් වීමට සුදුසු නිවසක් නොමැති හෝ පවතින නිවසේ අනාරක්ෂිත බව හේතුවෙන් විවිධ අවදානම්වලට ලක්ව ඇති දරුවන් සිටින පවුල්වලට ද මෙම සහනය හිමිවේ. එසේම දැනට ආයතනික රැකවරණයේ පසුවන වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන ළමයින් මෙන්ම විවිධ හේතූන් මත සමාජගත වීමට නොහැකිව වයස අවුරුදු 18 ඉක්මවා තවදුරටත් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල රැඳී සිටින තරුණ තරුණියන් ද මෙම නිවාස මූල්‍යාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන බව රජය නිවේදනය කරයි.














