මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ සිදුවන බොරතෙල් මිල වෙනස්වීම් මඟින් මෙරට මහජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම් කළමනාකරණය කරගැනීම සඳහා රජය සෘජුව මැදිහත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන 92 ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහන සේවා සඳහා බහුලව යොදාගන්නා ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම සීමා කිරීම සඳහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. මෙම නව තීරණයට අනුව 2026 මාර්තු මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වල මෙරට ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ඒවා ආනයනය කරනු ලබන පිරිවැය හෙවත් ආනයනික මිල වැඩි වන්නේ නම් පමණක් රජය විසින් අදාළ සහනය සපයනු ලබයි. මෙහිදී 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වා උපරිමයකට යටත්ව ද, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වා වූ උපරිමයකට යටත්ව ද ආනයනික ඉන්ධන සැපයුම්කරුවන් වෙත ගෙවීමට රජය පියවර ගනු ඇත. එමඟින් මෙරට පාරිභෝගිකයන් මත පැටවෙන අධික බර පාලනය කිරීමට රජය අපේක්ෂා කරන අතර එළඹෙන අප්‍රේල් මාසයේදී ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාම පාරිභෝගික ජනතාවට මෙන්ම සමස්ත ආර්ථිකයටම ලොකු සහනයක් වනු ඇත. කෙසේ වෙතත්, සෑම මසකම මුලදී සිදුවන සාමාන්‍ය මිල සූත්‍ර සංශෝධනය අනුව අප්‍රේල් මස මුලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත නිල මිල ගණන් තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල සහ ඩොලරයේ අගය මත පදනම්වය.














