ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර, සිද්ධියට අදාළ එක් සැකකාරියක් කොළඹ අපරාධ කොට්ඨාසයේත්, අනෙක් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව එහිදී අනාවරණය විය.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේ 15 වන සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල ප්‍රගතියක් අධිකරණයට දක්නට නොලැබෙන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. සැකකාරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත්, ඇය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලීමක් කිරීමට නියමිත බවත් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළද, පුද්ගලයන් රඳවා තබාගෙන සිටීමෙන් පමණක් ඵලක් නොවන බවත්, කඩිනමින් විමර්ශන අවසන් කර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.














